Followers

Tuesday, January 25, 2022

රංවල දේව විශ්වාසය

 

    

                        ගඟ වට කෝරලයේ කැළණි ගං කුමරියගෙන් පෝෂණය වූ රමණිය ඓතිහාසික භූමි භාගය සියනෑ කෝරළයට සුවිශේෂී වූ ජනශ්‍රැති විශ්වාසයක් ලෙස රංවල දේව විශ්වාසය හඳුනා ගත හැකිය. අස්පර්ශනීය සංස්කෘතිය හා බැඳුණු ඒ මත ගොඩනැගුණු සියනෑ කෝරළයටම ආවේණික වුනු විශ්වාසයක් ලෙසද මෙම රංවල දේව විශ්වාසය හඳුනා ගත හැකිය. රංවල දෙවියන් සියනෑ කෝරලයේ ජීවමාන විශ්වාසයක්. එතුමන්ගේ ඉතිහාසය සීතාවක රාජසිංහ රජ සමය දක්වා දිවෙයි. ඒකල රජයේ වී ගබඩාවේ මුර භටයෙකු ලෙස සේවය කල මෙතුමා වී ගබඩාව හොරුන්ගේ කොල්ලකෑමට ලක් වූවායින් පසුව බොරු චෝදනා හමුවේ රාජ උදහසට ලක් වී ඇත. ඉන් පසුව හොර රහසේම ඔරුවක නැගී පලා එන මෙතුමා කැළණි ගං මිටියාවතේ දංගල්ල ග්‍රාමය තමන්ගේ වාසස්ථානය ලෙස තෝරාගන්නා ලදී. කැළණි විහාරයේ සෑම පොහොය දිනයකදීම සිල් සමාදන් වීම, විහාරයට එන බැතිමතුන් පහුරින් රැගෙන යාම මෙන්ම ඔහුගේ යහපත් දිවි පැවැත්ම නිසාවෙන් එතුමන් දේවත්වයට පත් වූ බව ජනප්‍රවාද සාක්ෂි දරයි. 

    

                   

                         මේ කැළණි ගං මිටියාවතේ උදවිය තමන්ගේ සෑම  සුබ කටයුත්තක්ම ආරම්භ කිරීමට මත්තෙන් රංවල දෙවියන් වෙත පඬුරු බැඳ ආශිර්වාද ලබා ගනී. දෙවියන් කෝප වූ විට තමන්ට දඬුවම් දෙන බව මෙකී ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී. යම් හෙයකින් දෙවියන් කෝප වුවහොත් උණ රෝගයකින් මිය යන බවට මිනිසුන් විශ්වාස කරන බව ජනප්‍රවාද කතාවල සඳහන් වේ. බෞද්ධාගමික පුජවන්හිදී රංවල දෙවියන් උදෙසා මල් යහනක් සාදා මල් පහන් දල්වමින් අරාධනා කොට ගෞරව කිරීම සිරිතක්ව පවතී. රංවල දෙවියන් වෙත පූජා පවත්තන්නට පෙර පේවීම සිරිතක් ලෙස දැක ගත හැකිය. රංවල දෙවියන් මතු බුදු බව පතන දෙවි කෙනෙක් වශයෙන්ද විශ්වාසයක් පවතී.

                        වර්තමානයේ රංවල දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහැර මංගල්‍යය පුගොඩ තොටුපොල කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබයි. පුරාණයේත් මෙම ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පෙරහැර පවත්වා දෙවියන්ට ගෞරව දක්වා තිබේ. පුගොඩ හන්දියේ පිරිත් මන්දප්පයක් තනා පිරිත් සජ්ජායනා කරමින් දෙවියන්ට පින් අනුමෝදනා කරනු ලබයි. රංවල දෙවියන් කිඹුලකු තමන්ගේ රථය ලෙස භාවිතා කරන බවට පැරැන්නන් විශ්වාස කරනු ලබයි. 

                           කැළණි ගං මිටියාවතේ අස්පර්ශනීය සංස්කෘතිමය වටිනාකමක් ලෙස අදටත් පවතින මෙකී විශ්වාසය නිසාවෙන්  වර්ෂාව, සශ්‍රිකත්වය, කරදර බාධක හමුවේ රංවල දෙවියන්ට භාර හාර වී ආශීර්වාදය පැතීම නිතැතින්ම සිදු වේ.🙏

Tuesday, January 18, 2022

ඓතිහාසික මැටි භාණ්ඩ

                         



                යුරෝපියානු මෙන්ම ආසියානු කලාපයේද සුවිශේෂී වූ ඓතිහාසික මැටි භාණ්ඩ දක්නට ලැබේ. ශිලා යුගයේදී ලක්දිව මැටි කර්මාන්තය ආරම්භ වූ බව පුරාණ සාහිත්‍ය ග්‍රන්ථවල දැක්වේ. ශිරාන් දැරණියගල මහතා විසින් ඓතිහාසික මැටි භාණ්ඩ වර්ග කීපයක් බෙදා දක්වා තිබේ. එනම්;

  • කාල රක්ත මැටි භාණ්ඩ 
  • සියුම් රක්ත මැටි භාණ්ඩ 
  • රතු ආලේපිත මැටි භාණ්ඩ 
  • ලා රතු මැටි භාණ්ඩ 
  • කහ වර්ණ මැටි භාණ්ඩ 
  • මෝස්‌තර සහිත මැටි භාණ්ඩ 
  • දුඹුරු පැහැති මැටි භාණ්ඩ           ලෙස හඳුනා ගත හැකිය.


                ලංකාව තුල මැටි බඳුන් අතීතයේ භාවිත කල බවට විවිධ සාධක කැනීම්වලින් හමු වී ඇත. එකී සාධක කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය. 
  • W.H. විජයපාල මහතා 1991 කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල කැණීම්වලින් ලංකාවේ පුරාණම මැටි බඳුන්වල විස්තර හමු වී ඇත. එකී කැණීම්වලදී දොරවක කන්ද ධාන්‍ය තැන්පත් කල මැටි බඳුන් තිබූ බවට සාධක හමු වී ඇත.
  • 1982 දී හෝර්ටන් තැන්නේදී සිදු කල කැණීම්වලදී මැටි බඳුන් පිලිබඳ අලුත් තොරතුරු හමු වී ඇත.
  • බලන්ගොඩ සිදු කල කැණීම්වලදී සකපොරුවකින් නිර්මාණය කරන ලද මැටි බඳුන් හමු වී තිබේ.
  • ඉබ්බන්කටුව, පොම්පරිප්පු, හොරොව්පතාන, කරෙයිනගර් ආශ්‍රිත කැණීම්වලදී කළු රතු මැටි බඳුන් හමු වී ඇත.
  • කිරිඳි ඔය හා තිස්ස වැව ආශ්‍රයෙන් සිදු කල කැණීම්වලින් පූජා කටයුතු සදහා යොදා ගත මැටි බඳුන් හමු වී ඇත.
  • රොබට් නොක්ස් තම වාර්තාවල සිංහලයන් විසින් මැටි බඳුන්, හැඳි ආදිය භාවිත කල බව දක්වා ඇත.

                මැටි භාණ්ඩ අලංකරණය සදහා විවිධ වූ ක්‍රම අතීතයේ භාවිත කර ඇත. ලංකාවේ දේශීය අලංකරණ ක්‍රම 4ක් දැක ගත හැකිය. එනම්;
  1. පටිඟු 
  2. රූප 
  3. කැටයම් 
  4. දිය සායම් හා තෙල් සායම්    ලෙසින් හඳුනා ගත හැකිය. එසේම මැටි භාණ්ඩ සායම් කිරීමට විවිධ වූ වර්ණ යොදා ගනු ලබයි. එකී වර්ණ සෑදීමට විවිධ වූ අමුද්‍රව්‍ය යොදා ගනු දක්නට ලැබේ.
  • සුදු - මකුළු මැටි 
  • රතු - සාදලිංගම් ඇඹරීමෙන් 
  • කහ - හිරිගල් ඇඹරීමෙන්, ගොතටු ගසේ යුෂයෙන් 
  • කළු - අඳුන් දැලි, කොස් කිරි, කැකුණ තෙල්, හල්දුම්මල 
  • නිල් - අවරිය කොළ යුෂ කැකාරීමෙන් 
  • කොළ - නිල හා කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් 
  • රන් පැහැය - ගම්මාළු පොතු, ගොතටු පොතු 

                වර්තමානය වන විට වියැකී යන මෙම මැටි භාණ්ඩ කලාව කෞතුකාගාර ආශ්‍රිතව සංරක්ෂණය කර ඇති නිසා ඓතිහාසික මැටි භාණ්ඩ පිලිබඳ තොරතුරු ඒ ඔස්සේ දැන ගත හැකිය.





Monday, January 10, 2022

පන්නම්

                             පන්නම් යනු පන් ගසින් කරන්නා වූ නිමැවුම්ය. මෙය ගැමි ගෙවිලියගේ අතින් අතීතයේදී සිදු වූවකි. පන්නම් කලාවේ යොදා ගන්නා පන්  ගස් පිලිබදව ඉතාමත් කලාත්මකව කවි මගින් ඉදිරිපත් කර ඇත. ඒ තුලින් අතීත සම්ප්‍රදායික දැනුම හදුනා ගත හැකිය. පන්නම් කලාවට යොදා ගන්නා පන් විශේෂ පිලිබදව මෙසේ දැක්විය හැකිය. 

    '' තුන්හිරියා කාමරංග ගල්ලැහැ              පොතුපන් 

      හම්බු හැවන් බොරු පන් එළු උදුරා        සතුටින් 

    තෙල්හිරියා වැටකේ හා දුනුකේ           ගැටපන් 

    නෑනෝ නුඹත් ආවද අද උදුරන්නට         පන් "


තුන්හිරියා ශාකය                                          හම්බු ශාකය 


තෙල්හිරියා ශාකය 



ගැටපන් වලින් නිර්මාණය කරන ලද වියමනක්



                            සම්ප්‍රදායික පන්නම් කලාව මෙතරම් ප්‍රකටව ලාංකේය සමාජයේ තහවුරු වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ සෑම ගමකම කුඹුරු අද්දර පන් ගාල තනා ගැනීමය. පන් ගස වේලා ගන්නා විට එහි පැහැය, හැඩය හා පදම වෙනස් නොවන සේ වේලා ගැනීමට ගෙවිලියන් වග බලා ගත්හ. 

                            ලාංකේය ජන සමාජයේ ගෙවිලිය කලාත්මකව වියන ලද පන්නම් අතර අතුල්පත්, වට්ටි, පන් පෙට්ටි, විවිධ පැදුරු වර්ග (දුම්බර පැදුර, කවි පැදුර, ජෝඩු පැදුර ) ඉලත්තට්ටු වියමන්, සේරක්කාලි වියමන් මෙන්ම වංකගිරි රටා, දියරැලි රටා, ලේන්සු රටා, දොළොස්මහේ රටා වශයෙන් විවිධ රටා වර්ගද භාවිතා කර තිබෙන ආකාරය දක්නට ලැබේ. 

පැදුරු රටා 
කාදු මළු 




පන් පෙට්ටි 






                                                                                            දුම්බර පැදුරු 
 කලාත්මක පන් වියමනක් 

                         සාම්ප්‍රදායික පන්නම් කලාවේදී වීගෙන යන ආකාරය, අලංකාර මෝස්‌තර නිර්මාණය කිරීම මෙන්ම ඒවා පරම්පරාගත විකාශනයන් මගින් පන්නම් කලාව සම්ප්‍රදායික ජන කලා ඉතා දිගු කලක් අප රටේ භාවිත විය. නුතන රෙදි පිලි හා අනෙකුත් භෞතික සාධකයන් සිඝ්‍රයෙන් වෙනස් වීමත් සමග සම්ප්‍රදායික පන් වියමන් කලාව බිඳ වැටී තිබේ. 

Wednesday, January 5, 2022

අණබෝල බැඳීම

                 අණබෝල යනු රිටවල් තුනකින් හිටවන ලද බෝල්පනා අතු කැටියකි. මෙම රිටවල් අඩි 6ක් පමණ උසින් යුක්ත වේ. අණබෝල බැඳීම යනු අණ පැනවිමකි. ඒ අණ පැනවීමට අයිතිය ඇත්තේ වැවේ රාජකාරි කරන්නාට පමණි. එබැවින් අණබෝල බඳින විට එය කාටත් නොපෙනෙන ලෙස රහසිගතව රෑ පාන්දර පැමිණ සිදු කල යුතුය. දියකඩ සීමාවේදී අණබෝල 3ක් බඳිනු ලබයි. අණබෝල බැඳීම ජනශ්‍රැතියේ එන සම්මතයකි. මේ තුලින් සම්ප්‍රදායික සන්නිවේදනයේ ලක්ෂණ මනාව පැහැදිලි වේ. 


            අණබෝල බැඳීම තුලින් එකී වැවේ වතුර ගැනීම, වැව් මාළු ඇල්ලීම, ආදිය තහංචි වේ. එකී තහංචිය බලපාන්නේ අණබෝල බැඳ ඇති සිමාව තුල පමණි. මෙය සිදු කරනු ලබන්නේ වැවේ ජලය ආරක්ෂා කර ගැනීමටයි. මන්ද ඉඩෝරය පැමිණීමත් සමග වැව්වල ජලය සිඳී යාමට පටන් ගන්නා නිසාවෙනි. ඒ නිසාවෙන් අණබෝල බැඳීමෙන් වැවේ ජලය මෙන්ම මසුන්ද ආරක්ෂා කිරීම සිදු කරයි.

                අණබෝල තහංචිය ඉවත් කිරීමේ බලය ඇත්තේද අණබෝල් හිටවූ පුද්ගලයාටමයි. දිගින් දිගටම වැව හිඳෙමින් ඉඩෝරය තාව තවත් උග්‍ර වේ නම් අණබෝල් බැඳ තිබෙන සිමාවේ සිටින මසුන් පවා මිය යාමට ඉඩ ඇති නිසා අණබෝල ගලවා වැව් මාළු ඇල්ලීමට ඉඩ අවසර ලබා දේ. 

                වර්තමානයේ දක්නට නොලැබෙන පුරන වැව් ගම්මානවල තිබුණු අපූරු තහංචියක් ලෙස අණබෝල බැඳීම හදුනා ගත හැකිය.

බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...