Followers

Wednesday, March 16, 2022

බලි

 

                                                        ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙස බලි යාගය හදුනා ගත හැකිය. නවග්‍රහයින්ගෙන් මිනිසාට සිදුවන අපල තත්වයන් දුරු කරගැනීම උදෙසා බලි යාග පැවැත්වීම ඉතා ඈත අතීතයේ සිට සිංහල ජන සමාජයේ පැවත එයි. මිනිසාගේ පැවැත්ම කෙරෙහි ග්‍රහ වස්තුන් බලපාන බවට ඇති විශ්වාසය දුරාතීතයේ සිට පැවත එන්නකි. ග්‍රහ වස්තුන් පිදීම ගෝත්‍රික සමාජවල මූලික ලක්ෂණයකි. ඒ අනුව බලන විට ශ්‍රී ලංකාවේ ග්‍රහයින් ඇදහීම හා බැඳුණු බලි යාග ක්‍රමයටද පැරණි ඓතිහාසික ප්‍රභවයක් ඇතැයි අනුමාන කල හැකිය. 

                                                        දේශීය වශයෙන් ගත් කල බලි යන පදය අපට හමු වන්නේ මහාවංශය තුලිනි. පණ්ඩුකාභය රජ සමයේදී චිත්තරාජ හා කාලවේල යන යක්ෂයින් දෙදෙනා පුද පූජා පැවැත්වීමේදී 'බලි පුද' දුන් බව මහාවංශය දක්වනු ලබයි. පොළොන්නරු යුගයේ රජ කල නිශ්ශංකමල්ල රජතුමාද නවග්‍රහයින් වෙනුවෙන් පුද පූජා පවත්වා ඇති බව ශිව දේවාල පුවරු ලිපියෙහි සඳහන් කොට ඇත. එසේම කෝට්ටේ යුගයෙහි රචනා වූ දහම් සරණ, බුත්සරණ, ජාතක කතා සන්නය, සද්ධර්මාලංකාරය වැනි පොත් රාශියක බලි යන පදය අන්තර්ගත වී තිබෙනු දක්නට ලැබේ. 

                                                        ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බලි යාග සම්ප්‍රදායන් 5ක් හඳුනා ගත හැකිය. එනම්;

  1. උඩරට නර්තන බෙරවාදන ගායන විධි නාදමාලා ක්‍රමය අනුව පවත්වන උඩරට බලි යාග සම්ප්‍රදාය 
  2. පහතරට ප්‍රදේශවලට ආවේණික පහතරට නර්තනය, බෙරවාදනය, ගායන විධි හා එම ප්‍රදේශවලට ආවේණික චිත්‍ර, මුර්ති, කැටයම්, ඇඹුම් කලාව ආශ්‍රිත පහතරට බලි යාග සම්ප්‍රදාය 
  3. මැදරට හෙවත් සබරගමුවට ආවේණිකව පවත්වන සබරගමු බලි යාග සම්ප්‍රදාය 
  4. අනුරාධපුරය, කලා වැව, නුවර වැව, පදවි වැව යන වැව් ගම්මාන ආශ්‍රිත රජරට හෙවත් නුවර කලාවියේ ප්‍රචලිත බලි යාග සම්ප්‍රදාය 
  5. බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල ව්‍යාප්ත ඌව බලි යාග සම්ප්‍රදාය
                                                            බලි යාග ක්‍රම වශයෙන්ද කොටස් 5ක් යටතේ විස්තර වේ. ඒවා පංච මහා බලි යනුවෙන් ව්‍යවහාර වේ. ඒවා නම්;
  • ඥාති බලි - නෑයන්ට දිය යුතු තෑගි බෝග 
  • අතථි බලි - ආගන්තුකයන්ට කරන සැලකිලි 
  • පුබ්බෙපේත බලි - මළගිය අයට කරනු ලබන පුද පූජා 
  • රාජ බලි - රජුන් වෙනුවෙන් සිදු කරන පිදවිලි 
  • දේව බලි - දෙවියන්ට කරන පුද පූජා 
                                                                බලි යාග ක්‍රමය ලංකාවේ ප්‍රචලිත වීම සම්බන්ධයෙන් විමසන විට ජෝති ගණිතය නම් බ්‍රාහ්මණයෙකුගේ බලි සිංහල බසට පරිවර්තනය කළ වීදාගම හිමි හා තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් සිංහල බලි යාග ක්‍රමය රචනා කල බව ජනප්‍රවාදයේ පවතී. ඒ අනුව බොහෝ වියත්හු සිංහල බලි යාගය බමුණු සංස්කෘතියෙන් ආභාසය ලැබුවක් බව පිළිගනිති.

" ඉන්ද්‍ර කොනේ ඉරු දෙවිඳුට ඉඹුල් විමන      යෙන්දා 
  රන් බත් භෝජන වළඳා සිරිවස                 සුරතින්දා 
  රථවාහන නැගී ඇවිත් ලොව කරුණා           වෙන්දා 
  ඉන්ද්‍ර කොනෙන් හිරු වඩින්ඩ නමා සිරස      වැන්දා "

Wednesday, March 9, 2022

මළ බෙර

                             වමංගල උත්සවයන්හිදී මිය ගිය තැනැත්තාගේ මිනිය බහාලූ දෙන ඉදිරියෙන් වාදනය කරමින් අවමංගල්‍ය පෙරහැරෙහි ඉදිරියෙන් ගමන් කිරීම මළ බෙර වයන්නාගේ කාර්යභාරයයි. මළ බෙර වැයීම සඳහා දවුල, තම්මැට්ටම සහ හොරණෑව යන වාද්‍ය භාණ්ඩ යොදා ගනී. හේවිසි වාදනය සඳහා යොදා ගන්නා වාදන භාණ්ඩයන්ම මේ සදහා යොදා ගනු ලැබුවද මළ බෙරයේ බෙර පදයත්, එමගින් නැගෙන අමිහිරි ශෝකාකූල නාදයත් මගින් එහි ඇති විශේෂත්වය පැහැදිලි වෙයි. මළ බෙර වාදනයෙහි ආරම්භය පිළිබඳව සිය අදහස් දක්වන ආචාර්ය එස්. පණිභාරතයන් පවසන්නේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛයක් අපවත් වූ අවස්ථාවේදී එකී වාදන ක්‍රමය ප්‍රථමයෙන් පවත්වන ලද බවයි.
                                අතීතයේදී මළ බෙර වාදනය සඳහාම වෙන් වූ පරම්පරා පැවති අතර ඔවුන් සමාජයේ පහත් කොට සලකන පිරිසක් විය. ඒ නිසාවෙන් එම කටයුතු සඳහා නිරත වූ ගුරු පරම්පරා ක්‍රමයෙන් නැති වී යන ලදී. මළ බෙර වාදනයේදී දවුල හා තම්මැට්ටම සුදු රෙද්දකින් ආවරණය කිරීම ඇතැම් ප්‍රදේශවල සිරිතකි. එසේ බෙරය ආවරණය කිරීමෙන් බෙරයෙහි ස්වභාවික හඬ යටපත් වී ශෝකාකුල පහත් හඬක් නැගෙන නිසා එසේ කරන්නට ඇතැයි සැලකිය හැකිය. සාමාන්‍යයෙන් මළ බෙර වාදනය මිය ගිය තැනැත්තාගේ සිරුර භූමිදාන කිරීමෙන් පසුව හෝ දෙනට ගිනි තැබීමෙන් පසුවත් මළ බෙර වැයීම ඇතැම් ප්‍රදේශවල සිරිතක්ව පවතී.
                                    මළ බෙරයද සන්නිවේදනාර්ථයෙන් වාදනය කරන ලද්දක් වන අතර මිනිය සහිත දෙන සොහොන් බිම වෙත ගෙන යෑමට පෙර තෙවරක් බෙර වාදනය කර ගම්වාසීන්ට එකී අවස්ථාව එළඹ ඇති බව සන්නිවේදනය කිරීමද ඇතැම් ප්‍රදේශවල චාරිත්‍රයක් ලෙස පැවත ඇත. කෙසේ වෙතත් ඇද වන විට මෙකී මළ බෙර වාදනය සමාජයෙන් ඈත් වී ඇති ආකාරයක් හඳුනා ගත හැකි අතරම අනාගත පරම්පරාවට මෙකී සිංහල ජන සිරිත් දැක ගන්නටවත් නොහැකි තත්වයක් උදා වනු ඇත. 😥😥😥

බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...