ටැම්පිට විහාරයක් යනු අඩි 2-4 උසැති ගල් කණු විශාල ගණනක් මත තිබෙන නිර්මාණයකි. මෙහි වහලය දරා සිටින්නේ දැවමය ආකෘතියකින් වන අතර බිත්ති සාමාන්‍යයෙන් කටු මැටියෙන් නිමවා ඇත. තවද ඇතුළු බිත්ති මහනුවර යුගයේ කලාවට අනුරූපිව ඇඳි බිතු සිතුවම්වලින් ආවරණය වී ඇත. එමෙන්ම ගල්කණු සිටුවා ඒවා මත දැව බාල්ක යොදා ඊට උඩින් ලෑලි අතුරා දැව බාල්ක මත වරිච්චි බිත්ති බැඳ බුදු පිළිමයක් ප්‍රධාන පුජනීය වස්තුව ලෙස තැන්පත් කිරීම සඳහා නිර්මාණය කරන ගොඩනැගිල්ල ටැම්පිට විහාරය ලෙසින් හඳුනා ගත හැකිය. ටැම්පිට විහාරගෙයි ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම ගොඩනැගිලි වර්ගය දකුණු ඉන්දියාවේ හා මහායාන බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල දක්නට ඇති බව පැහැදිලි වේ- විශේෂයෙන්ම කාම්බෝජය, ජපානය වැනි රටවල දක්නට ඇති මෙම ගෘහ නිර්මාණ ලක්ෂණ දක්නට ඇත- විද්වතුන්ගේ මතය වන්නේ මෙම විහාර බොහෝ විට ගොඩනගා ඇත්තේ පහත් බිම් හා වගුරු බිම්වලින් ආරක්ෂා වීමට හා ජල ගැලීම්වලින් ගහන ප්‍රදේශවලට ඔරොත්තු දෙන අයුරින් බවයි- එසේම විහාරයේ ටැම් සඳහා විශාල ගල් කණු යොදා ගැනීමෙන් විහාරයට සිදුවන කෘමි හානි, වෙනත් සතුන්ගෙන් වන හානි හා තෙත් බිම්වලින් සිදුවන හානි වැළැක්වීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ- මෙම විහාර ඉදිකිරීම සඳහා විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයක් සාම්ප්‍රදායික ශිල්පියා විසින් භාවිතා කර ඇත.
ශ්‍රී ලාංකීය ආරාමික වාස්තු විද්‍යාවේ ක්‍රි-ව- 18 ‐ 20 සියවස් අතර කාලයේදී හමුවන වාස්තු විද්‍යාත්මක නිර්මාණ විශේෂයක් වන ටැම්පිට විහාර තත් කාලීන සමාජයේ තාක්ෂණය, කලාව, ආගමික සංකල්ප හා සමාජ, ආර්ථික වටපිටාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන පුරාවිද්‍යා ස්මාරක විශේෂයකි. මෙකී ටැම්පිට විහාර ඒවා නිර්මාණය කොට ඇති අවධියට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් හා මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද මනාව ආරක්ෂා වී ඇති කුඩා කලාගාර ලෙසද හැඳින්වේ. දැනට බොහෝ විට අභාවයට යමින් පවතින හා අභාවයට ගොස් ඇති මෙම විහාර සම්ප්‍රදාය වඩාත් දැකිය හැකි වන්නේ ගම්පොළ හා මහනුවර යුගවලදීය- විශේෂයෙන් රටේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවල වඩාත් ප්‍රචලිතව පැවතිණි. වයඹ, සබරගමු, මධ්‍යම හා බස්නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කීපයකි. ඒ අතර;
- මහල් දළදා මැදුරුවල බලපෑම
- තෙතමනයෙන් හා වේයන්ගෙන් ප්‍රතිමා හා සිතුවම් ආරක්ෂා කර ගැනීම
- කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබා දීම ආදිය දැක්විය හැකිය.
චාල්ස් ගොඩකුඹුර මහතා පවසන ආකාරයට මෙම ටැම්පිට විහාර ඉදි කිරීමට බලපා ඇත්තේ පොළොන්නරුවේ අටදාගෙය හා හැටදාගෙය වැනි පූජනීය ගොඩනැගිලි බවයි. දළදා මාළිගාවල ඉතිහාසය දෙස බලන විට ඒ සඳහා යොදා ගන්නේ මහල් ගොඩනැගිල්ලකි- පහළ මාලිගාවද දෙමහල් ගෙඩනැගිල්ලකි. පොළොන්නරු දළදා ගෙය වශයෙන් හඳුනාගෙන ඇති අටදාගෙය හා හැටදාගෙය මහල් ගෙඩනැගිලි බව එහි ඉහළ මාලයට පිවිසීමට ඇති පියගැට වලින් පැහැදිලි වේ. මහනුවර දළදා මාලිගයද දෙමහල් ගෙඩනැගිල්ලකි. මෙලෙස එවකට ජනප්‍රියව පැවති ඉතා පූජනීය ගොඩනැගිලි වූ දළදා මැදුරු වල බලපෑමද ටැම්පිට විහාර සඳහා ලැබෙන්නට ඇත. වර්ෂාධික නිවර්තන කලාපීය රට වල වේයන් ආදී කෘමීන්ගෙන් දැව ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම සඳහා ගල් කණු මත ගොඩනැගිලි ඉදි කිරීමේ සිරිතක් පවතී. මෙකී හේතුවද ටැම්පිට විහාර ඉදි වීමට හේතු වී ඇත. එමෙන්ම කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබා දීමටද මෙලෙස උස් ගල් කණු මත ටැම්පිට විහාර ඉදි කරන්නට ඇත.
ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම පුරා ටැම්පිට විහාරයන් ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගත හැකිය. එහිදී ලංකාවේ පළමු ටැම්පිට විහාරය ලෙස සැලකෙන්නේ මහනුවර මැදවල ටැම්පිට විහාරයයි. බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පිහිටි ටැම්පිට විහාරය ලංකාවේ විශාලතම ටැම්පිට විහාරය ලෙස සැලකෙන අතර එය අඩි 6 උස් වූ ගල් ටැම් 22ක් මත පිහිටා ඇති අතර දිගින් අඩි 34 හා පළලින් අඩි 24ක් වේ. ලංකාවේ කුඩාම ටැම්පිට විහාරය ලෙස සැලකෙන්නේ රද්දල්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රරාම විහාරස්ථානයෙහි පිහිටි ටැම්පිට විහාරයයි. එය අඩි 3 අඟල් 1 උස් වූ ගල් ටැම් 9ක් මත පිහිටා ඇති අතර දිගින් අඩි 8 අඟල් 2 හා පළලින් අඩි 6 අඟල් 8ක් වේ.
ලංකාවේ කුඩාම ටැම්පිට විහාරය
වර්තමානය වන විට මෙම විහාර සම්ප්‍රදාය බොහෝ සෙයින් විනාශ වීමට භාජනය වී ඇත. නමුත් ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ උසස් නිර්මාණයක් ලෙස සැලකෙන ටැම්පිට විහාර සම්ප්‍රදාය අනාගතයටත් සුරක්ෂිත කළ යුතු වේ.