Followers

Tuesday, December 14, 2021

පානම්පත්තුවේ මරණය

 පානම්පත්තුවේ මරණය 

                            නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම ගම්මානය කේන්ද්‍ර කරගනිමින් පිහිටි පානම්පත්තුව තුළ කුමන, ලාහුගල, බක්මිටියාව යන ගම්මාන පිහිටා තිබේ. පානම්පත්තුව ජනගහණය වන්නට පටන් ගත්තේ 1818 වෙල්ලස්ස කැරැල්ලෙන් බේරීම සදහා ආරක්‍ෂිත ස්ථාන සොයා පැමිණි උඩරට වැසියන්ගෙනි. පානම්පත්තුව වෙත එල්ල වූ ආර්ථික, සමාජීය බලපෑම් නිසාත් නවීකරණයේ හා නාගරීකරණයේ අභියෝගයන් නිසාත් එහි ජනශ්‍රැති අංග සිඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. එකී ජනශ්‍රැති අංග අතර පානම්පත්තුවටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාස පද්ධතියක් පවතී. එම ඇදහිලි විශ්වාස පද්ධතිය තුල මරණය පිලිබදව පානම්පත්තුවේ වැසියන් අනුගමනය කරන සිරිත් විරිත් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වේ. 

                                        මෙම ප්‍රදේශයේ කිසියම් පුද්ගලයෙක් මරණාසන්නව සිටී නම් එම නිවසට භික්ෂූන් වහන්සේ නමක් වඩම්මවා දන් පිළිගැන්වීම හා බණ දේශනා කිරීම සිරිතකි. එම පුද්ගලයා මරණයට පත් වූ පසු සිසිල් ජලයෙන් නෑවීම සිරිතක් වශයෙන් සිදු කරන අතර නෑවීමෙන් පසුව අලුත් ඇදුම් අන්දවනු ලබයි. මිය ගිය පුද්ගලයා විවාහක අයෙක් නම් විවාහ වන දිනයේ අදිනු ලැබූ ඇඳුම අන්දවන අතර අවිවාහක අයෙක් නම් ජීවත්ව සිටී කාලයේ වඩාත් ප්‍රිය කල ඇඳුම ඇන්දවීම සිරිතකි. එසේම මරණයට පත් වන පුද්ගලයා දින තුනක් ඇතුලත භූමදානය කිරීමද අනිවාර්ය සිරිතකි. භූමදානය කිරීමේදී මරණයට පත් වන පුද්ගලයා ඇද සිටී ඇදුම් මෙන්ම භාවිත කල බඩු බහිරාදියද රැගෙන යනු ලබයි. මිනිය භූමදානය කිරීමෙන් අනතුරුව වල මත කොළ අතු කිහිපයක් අනිවාර්යෙන් තබනු ලබයි. එම කොළ අතු ගැමියන් හදුන්වන්නේ 'කටු අත්ත' නමිනි. එසේම මිනීවල දෙපස පිටුපස කපන ලද කුරුම්බා ගෙඩි දෙකක් තබා ඒ මත පොල්තෙල් පහන් තිර දෙකක් දැල්වීම සිරිතකි. ඒ තුලින් පානම්පත්තුවේ ගැමියා විශ්වාස කරන්නේ මියගිය පුද්ගලයාගේ ප්‍රේත ආත්මය පළවා හැරීමට හැකි වනවා මෙන්ම මතු ආත්මය පහන් දැල්ල සේ ආලෝකමත් වන බවයි. භූමදාන කටයුතු අවසන් වූ පසු එහි ගිය සියලු දෙනා කොහොඹ කොළ ඉසීමෙන් හිස සෝදා ස්නානය කිරීම අනිවාර්යෙන් සිදු කරනු ලබයි. එසේ නොකළහොත් මිය ගිය තැනැත්තා ප්‍රේත ආත්මයක් ලබා තම නිවෙස්වලට පැමිණෙන බවට පානම්පත්තුවේ ගැමියාගේ විශ්වාසයයි. 

                                        වර්තමානය වන විට කෙමෙන් කෙමෙන් වියැකී යන පානම්පත්තුවේ ජනශ්‍රැති අංග අතර ඇදහිලි හා විශ්වාස පද්ධතිය තුල දක්නට ලැබෙන්නා වූ මරණය පිළිබද සිරිත් විරිත් මෙසේ ලඝු කොට දැක්විය හැකිය. 

7 comments:

  1. නොදන්නා කරුණු ටිකක්.. ඉදිරියට ලංකාව තුල මෙවැනි දේ අසන්නට නොලැබේවි.. ඔබේ උත්සාහය සැබවින්ම අගය කරමි

    ReplyDelete

බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...