Followers

Tuesday, February 22, 2022

ටැම්පිට විහාර සංකල්පය

                              


                             ටැම්පිට විහාරයක් යනු අඩි 2-4 උසැති ගල් කණු විශාල ගණනක් මත තිබෙන නිර්මාණයකි. මෙහි වහලය දරා සිටින්නේ දැවමය ආකෘතියකින් වන අතර බිත්ති සාමාන්‍යයෙන් කටු මැටියෙන් නිමවා ඇත. තවද ඇතුළු බිත්ති මහනුවර යුගයේ කලාවට අනුරූපිව ඇඳි බිතු සිතුවම්වලින් ආවරණය වී ඇත. එමෙන්ම ගල්කණු සිටුවා ඒවා මත දැව බාල්ක යොදා ඊට උඩින් ලෑලි අතුරා දැව බාල්ක මත වරිච්චි බිත්ති බැඳ බුදු පිළිමයක් ප්‍රධාන පුජනීය වස්තුව ලෙස තැන්පත් කිරීම සඳහා නිර්මාණය කරන ගොඩනැගිල්ල ටැම්පිට විහාරය ලෙසින් හඳුනා ගත හැකිය. ටැම්පිට විහාරගෙයි ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එම ගොඩනැගිලි වර්ගය දකුණු ඉන්දියාවේ හා මහායාන බුදු දහම ව්‍යාප්ත වී ඇති රටවල දක්නට ඇති බව පැහැදිලි වේ- විශේෂයෙන්ම කාම්බෝජය, ජපානය වැනි රටවල දක්නට ඇති මෙම ගෘහ නිර්මාණ ලක්ෂණ දක්නට ඇත- විද්වතුන්ගේ මතය වන්නේ මෙම විහාර බොහෝ විට ගොඩනගා ඇත්තේ පහත් බිම් හා වගුරු බිම්වලින් ආරක්ෂා වීමට හා ජල ගැලීම්වලින් ගහන ප්‍රදේශවලට ඔරොත්තු දෙන අයුරින් බවයි- එසේම විහාරයේ ටැම් සඳහා විශාල ගල් කණු යොදා ගැනීමෙන් විහාරයට සිදුවන කෘමි හානි, වෙනත් සතුන්ගෙන් වන හානි හා තෙත් බිම්වලින් සිදුවන හානි වැළැක්වීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ- මෙම විහාර ඉදිකිරීම සඳහා විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයක් සාම්ප්‍රදායික ශිල්පියා විසින් භාවිතා කර ඇත.


                      ශ්‍රී ලාංකීය ආරාමික වාස්තු විද්‍යාවේ ක්‍රි-ව- 18 ‐ 20 සියවස් අතර කාලයේදී හමුවන වාස්තු විද්‍යාත්මක නිර්මාණ විශේෂයක් වන ටැම්පිට විහාර තත් කාලීන සමාජයේ තාක්ෂණය, කලාව, ආගමික සංකල්ප හා සමාජ, ආර්ථික වටපිටාව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන පුරාවිද්‍යා ස්මාරක විශේෂයකි. මෙකී ටැම්පිට විහාර ඒවා නිර්මාණය කොට ඇති අවධියට අයත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් හා මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද මනාව ආරක්ෂා වී ඇති කුඩා කලාගාර ලෙසද හැඳින්වේ. දැනට බොහෝ විට අභාවයට යමින් පවතින හා අභාවයට ගොස් ඇති මෙම විහාර සම්ප්‍රදාය වඩාත් දැකිය හැකි වන්නේ ගම්පොළ හා මහනුවර යුගවලදීය- විශේෂයෙන් රටේ තෙත් කලාපයට අයත් ප්‍රදේශවල වඩාත් ප්‍රචලිතව පැවතිණි. වයඹ, සබරගමු, මධ්‍යම හා බස්නාහිර පළාත්වල ටැම්පිට විහාරවල ඉහළ ඝනත්වයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ඉදිකිරීමට බලපෑ හේතු කීපයකි. ඒ අතර;

  • මහල් දළදා මැදුරුවල බලපෑම
  • තෙතමනයෙන් හා වේයන්ගෙන් ප්‍රතිමා හා සිතුවම් ආරක්ෂා කර ගැනීම
  • කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබා දීම ආදිය දැක්විය හැකිය.

                         චාල්ස් ගොඩකුඹුර මහතා පවසන ආකාරයට මෙම ටැම්පිට විහාර ඉදි කිරීමට බලපා ඇත්තේ පොළොන්නරුවේ අටදාගෙය හා හැටදාගෙය වැනි පූජනීය ගොඩනැගිලි බවයි. දළදා මාළිගාවල ඉතිහාසය දෙස බලන විට ඒ සඳහා යොදා ගන්නේ මහල් ගොඩනැගිල්ලකි- පහළ මාලිගාවද දෙමහල් ගෙඩනැගිල්ලකි. පොළොන්නරු දළදා ගෙය වශයෙන් හඳුනාගෙන ඇති අටදාගෙය හා හැටදාගෙය මහල් ගෙඩනැගිලි බව එහි ඉහළ මාලයට පිවිසීමට ඇති පියගැට වලින් පැහැදිලි වේ. මහනුවර දළදා මාලිගයද දෙමහල් ගෙඩනැගිල්ලකි. මෙලෙස එවකට ජනප්‍රියව පැවති ඉතා පූජනීය ගොඩනැගිලි වූ දළදා මැදුරු වල බලපෑමද ටැම්පිට විහාර සඳහා ලැබෙන්නට ඇත. වර්ෂාධික නිවර්තන කලාපීය රට වල වේයන් ආදී කෘමීන්ගෙන් දැව ගොඩනැගිලි ආරක්ෂා කර ගැනීම සඳහා ගල් කණු මත ගොඩනැගිලි ඉදි කිරීමේ සිරිතක් පවතී. මෙකී හේතුවද ටැම්පිට විහාර ඉදි වීමට හේතු වී ඇත. එමෙන්ම කුඩා විහාර මන්දිරවලට ගාම්භීර පෙනුමක් ලබා දීමටද මෙලෙස උස් ගල් කණු මත ටැම්පිට විහාර ඉදි කරන්නට ඇත.

                                ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම පුරා ටැම්පිට විහාරයන් ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගත හැකිය. එහිදී ලංකාවේ පළමු ටැම්පිට විහාරය ලෙස සැලකෙන්නේ මහනුවර මැදවල ටැම්පිට විහාරයයි. බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පිහිටි ටැම්පිට විහාරය ලංකාවේ විශාලතම ටැම්පිට විහාරය ලෙස සැලකෙන අතර එය අඩි 6 උස් වූ ගල් ටැම් 22ක් මත පිහිටා ඇති අතර දිගින් අඩි 34 හා පළලින් අඩි 24ක් වේ. ලංකාවේ කුඩාම ටැම්පිට විහාරය ලෙස සැලකෙන්නේ රද්දල්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රරාම විහාරස්ථානයෙහි පිහිටි ටැම්පිට විහාරයයි. එය අඩි 3 අඟල් 1 උස් වූ ගල් ටැම් 9ක් මත පිහිටා ඇති අතර  දිගින් අඩි 8 අඟල් 2 හා පළලින් අඩි 6 අඟල් 8ක් වේ.


                                            ලංකාවේ කුඩාම ටැම්පිට විහාරය 

                            වර්තමානය වන විට මෙම විහාර සම්ප්‍රදාය බොහෝ සෙයින් විනාශ වීමට භාජනය වී ඇත. නමුත් ශ්‍රී ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ උසස් නිර්මාණයක් ලෙස සැලකෙන ටැම්පිට විහාර සම්ප්‍රදාය අනාගතයටත් සුරක්ෂිත කළ යුතු වේ.

Tuesday, January 25, 2022

රංවල දේව විශ්වාසය

 

    

                        ගඟ වට කෝරලයේ කැළණි ගං කුමරියගෙන් පෝෂණය වූ රමණිය ඓතිහාසික භූමි භාගය සියනෑ කෝරළයට සුවිශේෂී වූ ජනශ්‍රැති විශ්වාසයක් ලෙස රංවල දේව විශ්වාසය හඳුනා ගත හැකිය. අස්පර්ශනීය සංස්කෘතිය හා බැඳුණු ඒ මත ගොඩනැගුණු සියනෑ කෝරළයටම ආවේණික වුනු විශ්වාසයක් ලෙසද මෙම රංවල දේව විශ්වාසය හඳුනා ගත හැකිය. රංවල දෙවියන් සියනෑ කෝරලයේ ජීවමාන විශ්වාසයක්. එතුමන්ගේ ඉතිහාසය සීතාවක රාජසිංහ රජ සමය දක්වා දිවෙයි. ඒකල රජයේ වී ගබඩාවේ මුර භටයෙකු ලෙස සේවය කල මෙතුමා වී ගබඩාව හොරුන්ගේ කොල්ලකෑමට ලක් වූවායින් පසුව බොරු චෝදනා හමුවේ රාජ උදහසට ලක් වී ඇත. ඉන් පසුව හොර රහසේම ඔරුවක නැගී පලා එන මෙතුමා කැළණි ගං මිටියාවතේ දංගල්ල ග්‍රාමය තමන්ගේ වාසස්ථානය ලෙස තෝරාගන්නා ලදී. කැළණි විහාරයේ සෑම පොහොය දිනයකදීම සිල් සමාදන් වීම, විහාරයට එන බැතිමතුන් පහුරින් රැගෙන යාම මෙන්ම ඔහුගේ යහපත් දිවි පැවැත්ම නිසාවෙන් එතුමන් දේවත්වයට පත් වූ බව ජනප්‍රවාද සාක්ෂි දරයි. 

    

                   

                         මේ කැළණි ගං මිටියාවතේ උදවිය තමන්ගේ සෑම  සුබ කටයුත්තක්ම ආරම්භ කිරීමට මත්තෙන් රංවල දෙවියන් වෙත පඬුරු බැඳ ආශිර්වාද ලබා ගනී. දෙවියන් කෝප වූ විට තමන්ට දඬුවම් දෙන බව මෙකී ජනතාව අතර දැඩි විශ්වාසයක් පවතී. යම් හෙයකින් දෙවියන් කෝප වුවහොත් උණ රෝගයකින් මිය යන බවට මිනිසුන් විශ්වාස කරන බව ජනප්‍රවාද කතාවල සඳහන් වේ. බෞද්ධාගමික පුජවන්හිදී රංවල දෙවියන් උදෙසා මල් යහනක් සාදා මල් පහන් දල්වමින් අරාධනා කොට ගෞරව කිරීම සිරිතක්ව පවතී. රංවල දෙවියන් වෙත පූජා පවත්තන්නට පෙර පේවීම සිරිතක් ලෙස දැක ගත හැකිය. රංවල දෙවියන් මතු බුදු බව පතන දෙවි කෙනෙක් වශයෙන්ද විශ්වාසයක් පවතී.

                        වර්තමානයේ රංවල දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහැර මංගල්‍යය පුගොඩ තොටුපොල කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබයි. පුරාණයේත් මෙම ස්ථානය කේන්ද්‍ර කරගනිමින් පෙරහැර පවත්වා දෙවියන්ට ගෞරව දක්වා තිබේ. පුගොඩ හන්දියේ පිරිත් මන්දප්පයක් තනා පිරිත් සජ්ජායනා කරමින් දෙවියන්ට පින් අනුමෝදනා කරනු ලබයි. රංවල දෙවියන් කිඹුලකු තමන්ගේ රථය ලෙස භාවිතා කරන බවට පැරැන්නන් විශ්වාස කරනු ලබයි. 

                           කැළණි ගං මිටියාවතේ අස්පර්ශනීය සංස්කෘතිමය වටිනාකමක් ලෙස අදටත් පවතින මෙකී විශ්වාසය නිසාවෙන්  වර්ෂාව, සශ්‍රිකත්වය, කරදර බාධක හමුවේ රංවල දෙවියන්ට භාර හාර වී ආශීර්වාදය පැතීම නිතැතින්ම සිදු වේ.🙏

Tuesday, January 18, 2022

ඓතිහාසික මැටි භාණ්ඩ

                         



                යුරෝපියානු මෙන්ම ආසියානු කලාපයේද සුවිශේෂී වූ ඓතිහාසික මැටි භාණ්ඩ දක්නට ලැබේ. ශිලා යුගයේදී ලක්දිව මැටි කර්මාන්තය ආරම්භ වූ බව පුරාණ සාහිත්‍ය ග්‍රන්ථවල දැක්වේ. ශිරාන් දැරණියගල මහතා විසින් ඓතිහාසික මැටි භාණ්ඩ වර්ග කීපයක් බෙදා දක්වා තිබේ. එනම්;

  • කාල රක්ත මැටි භාණ්ඩ 
  • සියුම් රක්ත මැටි භාණ්ඩ 
  • රතු ආලේපිත මැටි භාණ්ඩ 
  • ලා රතු මැටි භාණ්ඩ 
  • කහ වර්ණ මැටි භාණ්ඩ 
  • මෝස්‌තර සහිත මැටි භාණ්ඩ 
  • දුඹුරු පැහැති මැටි භාණ්ඩ           ලෙස හඳුනා ගත හැකිය.


                ලංකාව තුල මැටි බඳුන් අතීතයේ භාවිත කල බවට විවිධ සාධක කැනීම්වලින් හමු වී ඇත. එකී සාධක කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය. 
  • W.H. විජයපාල මහතා 1991 කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල කැණීම්වලින් ලංකාවේ පුරාණම මැටි බඳුන්වල විස්තර හමු වී ඇත. එකී කැණීම්වලදී දොරවක කන්ද ධාන්‍ය තැන්පත් කල මැටි බඳුන් තිබූ බවට සාධක හමු වී ඇත.
  • 1982 දී හෝර්ටන් තැන්නේදී සිදු කල කැණීම්වලදී මැටි බඳුන් පිලිබඳ අලුත් තොරතුරු හමු වී ඇත.
  • බලන්ගොඩ සිදු කල කැණීම්වලදී සකපොරුවකින් නිර්මාණය කරන ලද මැටි බඳුන් හමු වී තිබේ.
  • ඉබ්බන්කටුව, පොම්පරිප්පු, හොරොව්පතාන, කරෙයිනගර් ආශ්‍රිත කැණීම්වලදී කළු රතු මැටි බඳුන් හමු වී ඇත.
  • කිරිඳි ඔය හා තිස්ස වැව ආශ්‍රයෙන් සිදු කල කැණීම්වලින් පූජා කටයුතු සදහා යොදා ගත මැටි බඳුන් හමු වී ඇත.
  • රොබට් නොක්ස් තම වාර්තාවල සිංහලයන් විසින් මැටි බඳුන්, හැඳි ආදිය භාවිත කල බව දක්වා ඇත.

                මැටි භාණ්ඩ අලංකරණය සදහා විවිධ වූ ක්‍රම අතීතයේ භාවිත කර ඇත. ලංකාවේ දේශීය අලංකරණ ක්‍රම 4ක් දැක ගත හැකිය. එනම්;
  1. පටිඟු 
  2. රූප 
  3. කැටයම් 
  4. දිය සායම් හා තෙල් සායම්    ලෙසින් හඳුනා ගත හැකිය. එසේම මැටි භාණ්ඩ සායම් කිරීමට විවිධ වූ වර්ණ යොදා ගනු ලබයි. එකී වර්ණ සෑදීමට විවිධ වූ අමුද්‍රව්‍ය යොදා ගනු දක්නට ලැබේ.
  • සුදු - මකුළු මැටි 
  • රතු - සාදලිංගම් ඇඹරීමෙන් 
  • කහ - හිරිගල් ඇඹරීමෙන්, ගොතටු ගසේ යුෂයෙන් 
  • කළු - අඳුන් දැලි, කොස් කිරි, කැකුණ තෙල්, හල්දුම්මල 
  • නිල් - අවරිය කොළ යුෂ කැකාරීමෙන් 
  • කොළ - නිල හා කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් 
  • රන් පැහැය - ගම්මාළු පොතු, ගොතටු පොතු 

                වර්තමානය වන විට වියැකී යන මෙම මැටි භාණ්ඩ කලාව කෞතුකාගාර ආශ්‍රිතව සංරක්ෂණය කර ඇති නිසා ඓතිහාසික මැටි භාණ්ඩ පිලිබඳ තොරතුරු ඒ ඔස්සේ දැන ගත හැකිය.





Monday, January 10, 2022

පන්නම්

                             පන්නම් යනු පන් ගසින් කරන්නා වූ නිමැවුම්ය. මෙය ගැමි ගෙවිලියගේ අතින් අතීතයේදී සිදු වූවකි. පන්නම් කලාවේ යොදා ගන්නා පන්  ගස් පිලිබදව ඉතාමත් කලාත්මකව කවි මගින් ඉදිරිපත් කර ඇත. ඒ තුලින් අතීත සම්ප්‍රදායික දැනුම හදුනා ගත හැකිය. පන්නම් කලාවට යොදා ගන්නා පන් විශේෂ පිලිබදව මෙසේ දැක්විය හැකිය. 

    '' තුන්හිරියා කාමරංග ගල්ලැහැ              පොතුපන් 

      හම්බු හැවන් බොරු පන් එළු උදුරා        සතුටින් 

    තෙල්හිරියා වැටකේ හා දුනුකේ           ගැටපන් 

    නෑනෝ නුඹත් ආවද අද උදුරන්නට         පන් "


තුන්හිරියා ශාකය                                          හම්බු ශාකය 


තෙල්හිරියා ශාකය 



ගැටපන් වලින් නිර්මාණය කරන ලද වියමනක්



                            සම්ප්‍රදායික පන්නම් කලාව මෙතරම් ප්‍රකටව ලාංකේය සමාජයේ තහවුරු වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ සෑම ගමකම කුඹුරු අද්දර පන් ගාල තනා ගැනීමය. පන් ගස වේලා ගන්නා විට එහි පැහැය, හැඩය හා පදම වෙනස් නොවන සේ වේලා ගැනීමට ගෙවිලියන් වග බලා ගත්හ. 

                            ලාංකේය ජන සමාජයේ ගෙවිලිය කලාත්මකව වියන ලද පන්නම් අතර අතුල්පත්, වට්ටි, පන් පෙට්ටි, විවිධ පැදුරු වර්ග (දුම්බර පැදුර, කවි පැදුර, ජෝඩු පැදුර ) ඉලත්තට්ටු වියමන්, සේරක්කාලි වියමන් මෙන්ම වංකගිරි රටා, දියරැලි රටා, ලේන්සු රටා, දොළොස්මහේ රටා වශයෙන් විවිධ රටා වර්ගද භාවිතා කර තිබෙන ආකාරය දක්නට ලැබේ. 

පැදුරු රටා 
කාදු මළු 




පන් පෙට්ටි 






                                                                                            දුම්බර පැදුරු 
 කලාත්මක පන් වියමනක් 

                         සාම්ප්‍රදායික පන්නම් කලාවේදී වීගෙන යන ආකාරය, අලංකාර මෝස්‌තර නිර්මාණය කිරීම මෙන්ම ඒවා පරම්පරාගත විකාශනයන් මගින් පන්නම් කලාව සම්ප්‍රදායික ජන කලා ඉතා දිගු කලක් අප රටේ භාවිත විය. නුතන රෙදි පිලි හා අනෙකුත් භෞතික සාධකයන් සිඝ්‍රයෙන් වෙනස් වීමත් සමග සම්ප්‍රදායික පන් වියමන් කලාව බිඳ වැටී තිබේ. 

Wednesday, January 5, 2022

අණබෝල බැඳීම

                 අණබෝල යනු රිටවල් තුනකින් හිටවන ලද බෝල්පනා අතු කැටියකි. මෙම රිටවල් අඩි 6ක් පමණ උසින් යුක්ත වේ. අණබෝල බැඳීම යනු අණ පැනවිමකි. ඒ අණ පැනවීමට අයිතිය ඇත්තේ වැවේ රාජකාරි කරන්නාට පමණි. එබැවින් අණබෝල බඳින විට එය කාටත් නොපෙනෙන ලෙස රහසිගතව රෑ පාන්දර පැමිණ සිදු කල යුතුය. දියකඩ සීමාවේදී අණබෝල 3ක් බඳිනු ලබයි. අණබෝල බැඳීම ජනශ්‍රැතියේ එන සම්මතයකි. මේ තුලින් සම්ප්‍රදායික සන්නිවේදනයේ ලක්ෂණ මනාව පැහැදිලි වේ. 


            අණබෝල බැඳීම තුලින් එකී වැවේ වතුර ගැනීම, වැව් මාළු ඇල්ලීම, ආදිය තහංචි වේ. එකී තහංචිය බලපාන්නේ අණබෝල බැඳ ඇති සිමාව තුල පමණි. මෙය සිදු කරනු ලබන්නේ වැවේ ජලය ආරක්ෂා කර ගැනීමටයි. මන්ද ඉඩෝරය පැමිණීමත් සමග වැව්වල ජලය සිඳී යාමට පටන් ගන්නා නිසාවෙනි. ඒ නිසාවෙන් අණබෝල බැඳීමෙන් වැවේ ජලය මෙන්ම මසුන්ද ආරක්ෂා කිරීම සිදු කරයි.

                අණබෝල තහංචිය ඉවත් කිරීමේ බලය ඇත්තේද අණබෝල් හිටවූ පුද්ගලයාටමයි. දිගින් දිගටම වැව හිඳෙමින් ඉඩෝරය තාව තවත් උග්‍ර වේ නම් අණබෝල් බැඳ තිබෙන සිමාවේ සිටින මසුන් පවා මිය යාමට ඉඩ ඇති නිසා අණබෝල ගලවා වැව් මාළු ඇල්ලීමට ඉඩ අවසර ලබා දේ. 

                වර්තමානයේ දක්නට නොලැබෙන පුරන වැව් ගම්මානවල තිබුණු අපූරු තහංචියක් ලෙස අණබෝල බැඳීම හදුනා ගත හැකිය.

Monday, December 27, 2021

ප්‍රස්තාව පිරුළු

                                         ගැමි ව්‍යවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්තාව පිරුළු හඳුනා ගත හැකිය. වැඩිහිටියන්ගෙන් හෝ පුර්වාචාරීන්ගෙන් ඉල්ලා ගත් දේ ප්‍රස්තාව පිරුළු ලෙසින් හැදින්විය හැකිය. ලාංකේය ප්‍රස්තාව පිරුළු ව්‍යවහාරයන් කෘෂිකාර්මික සංස්කෘතියක් ඔස්සේ දිගු කලක් තිබු මුඛ පරම්පරාගත භාවිතයකි. කටවහරේ අපූර්වත්වය ප්‍රස්තාව පිරුළු මගින් නියෝජනය කෙරේ. 

                                        ප්‍රස්තාව පිරුළු සතු කලාත්මක භාවිතාව පරපුරෙන් පරපුරට ව්‍යවහාර වන්නේ පිරුලෙහි ඇති කලාත්මක රීතීන් හේතු කොට ගෙනයි. ප්‍රස්තාව පිරුළු පිලිබඳ අධ්‍යනය කරන විට ඒ සැම පිරුලකටම අදාල කතා පුවතක් ඇත. එසේම විවිධ පදනම් යටතේ ප්‍රස්තාව පිරුළු නිර්මාණය වී ඇති බවක් දක්නට ලැබේ.

සමාජයේ කැපී පෙනෙන චරිත ඇසුරෙන් නිර්මාණය වූ ප්‍රස්තාව පිරුළු :-

  • පල නොකියා පලා බෙදනවා වගේ 
  • රජ වුණත් ගම තුම්පනේ 
  • තොටගමුවේ වෙලත් බණ බැරුවා වගේ 

පුද්ගලයන් විවේචනයට ලක් කරන ප්‍රස්තාව පිරුළු :- 
  • සර්පයාට කිරි පෙව්වා වගේ 
  • බොක්කේ බුදු රැස් හක්කේ දඩමස් 
  • කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ 

සතුන් ආශ්‍රයෙන් බිහි වී ඇති ප්‍රස්තාව පිරුළු :- 
  • බීරි අලියන්ට විණා වයනවා වගේ 
  • ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ 
  • ඉබ්බා දියේ දැම්මාම ඇන්නාවේ කිව්වලු 

ආප්තෝපදේශ හා ඉගිවැකි සමග සම්බන්ධ ප්‍රස්තාව පිරුළු :-
  • පිරුණු කළේ දිය නොසැලේ 
  • සුදු හුණු ගානවා 
  • පෙරලෙන ගලේ දිය නොසැලේ 
  • හොරගල් අහුලනවා 
                        ජන විඥානයට වඩා සමීප, නිර්මාණශීලිව ගොඩ නැගී ඇති ජන කියමන් විශේෂයක් ලෙස ප්‍රස්තාව පිරුළු හඳුනා ගත හැකිය. 

Tuesday, December 21, 2021

සාම්ප්‍රදායික සැරසිලි


        යම් භෞතික වස්තුවක් තවදුරටත් හැඩ ගැන්වීමට, ඔප නැංවීමට ගන්නා දෘශ්‍ය කලා යෙදවුම් සැරසිලි ලෙස හඳුනා ගත හැකිය. එකී දෘශ්‍ය කලාත්මක යෙදවුම් හෙවත් සාම්ප්‍රදායික සැරසිලි පන්සල් චිත්‍රවල බහුලව දක්නට ලැබේ.  සාම්ප්‍රදායික සැරසිලි ප්‍රධාන වශයෙන් කොටස් 5කි.
  1. සත්ත්ව රටා 
  2. මල්කම් ලියකම් 
  3. දිව්‍ය සැරසිලි 
  4. මානව සැරසිලි 
  5. ජ්‍යාමිතික සැරසිලි 





සත්ත්ව රටා 
                    සත්ත්ව රටා ප්‍රධාන වශයෙන් ස්වභාවික සත්ත්ව රටා හා නිරූඩ සත්ත්ව රටා ලෙස කොටස් 2කි. ස්වභාවික සත්ත්ව රටාවලදී තුළ ස්වභාවයේ සිටිනා ලෙසටම සතුන් නිරූපණය කරනු ලබයි. අලියා, ඇතා, අශ්වයා, සිංහයා ආදිය ඊට නිදසුන් වේ. නිරූඩ සත්ත්ව රටා තුලින් දක්නට ලැබෙන්නේ සතුන් කිහිපදෙනෙකු මිශ්‍ර කිරීමෙන් සාදනු ලබන සත්ත්ව නිරූපණයන්ය. මකරා, භේරුණ්ඩ පක්ෂියා, ගජ සිංහයා ඊට නිදසුන් වේ. දියුණුම නිරූඩ සත්ත්වයා ලෙස සැලකෙන්නේ මකරාය. ඇතැම්විට සතුන් 7 දෙනෙකු එකතු කොට මකර රූපය සාදා ඇත. 


මල්කම් ලියකම් 
                            මල් හා ශාක ආශ්‍රය කරගෙන නිරූපණය කෙරෙන සැරසිලි මෙතුලින් නිරූපණය කෙරේ. තනි මල, මල්වැල්, ශාක ආදී ලෙසින් මෙම සැරසිලි කොටස් 3කින් සමන්විත වේ. දෙමට මල, පිච්ච මල, බිනර මල තනිමල් සැරසිලි සදහා නිදසුන් වේ. මෙම සැරසිලි සදහා නෙලුම් මල බහුලව යොදා ගනී. නෙලුම් මල යොදා ගැනීමේ ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ පාරිශුද්ධත්වය හා බුද්ධත්වය නිරූපණය සදහාද යොදාගන්නා බැවිනි. එසේම චිත්‍රවල පසුබිම ගලපා ගැනීමට වගේම හිස්තැන් වසා ගැනීමටත් නෙලුම් මල උපකාරී කර ගනී. මල හා පොහොට්ටුව සහිත වැල් මල්වැල් සදහා යොදා ගන්නා අතර බෝ ගස, නා ගස, කෙසෙල් ගස, අඹ ගස ශාකයන් නිරූපණය සදහා සැරසිලිවලදී යොදා ගනී.

දිව්‍ය සැරසිලි 
                            දිව්‍ය සැරසිලිවලදී ඉර හඳ ප්‍රමුඛ වන අතර එහිදී බහිරව සංකල්පයද නිරූපණය වේ. වටිනා සම්පත් තැන්පත් කර තිබෙන ස්ථාන ආරක්ෂා කිරීම බහිරවයාගේ කාර්යයයි. ඉර හඳට අමතරව කඩුපුල් මල, දිව්‍ය ආභරණ ආදියද මෙහිදී නිරූපණය කෙරේ. මහනුවර යුගයෙන් පසු ලංකාවේ තිබු හින්දු බලපෑම මෙම සැරසිලි තුළින් පෙන්නුම් කෙරේ. 

මානව සැරසිලි 
                                නාරිලතා කැටයම් හා ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් අතර ඇති මල්ලව පොර රූප මෙම මානව සැරසිලි සදහා නිදසුන් වේ. තනි කාන්තාවක් තමන්ගේ ඉනෙන් උඩ කොටස සහිතව මල් අතැතිව ඉන්නා රූපය නාරිලතා රූපය ලෙස හැදින්වේ. මහනුවර යුගයේ වැඩි වශයෙන් මෙම සැරසිලි දක්නට ලැබී ඇත.

ජ්‍යාමිතික සැරසිලි 
                                    ජ්‍යාමිතික සැරසිලි ඒකල ජ්‍යාමිතික සැරසිලි හා අඛණ්ඩ ජ්‍යාමිතික සැරසිලි ලෙස කොටස් 2කි. ඒකල ජ්‍යාමිතික සැරසිලි අතර නෙලුම, බින්දුව, ත්‍රිකෝණ චතුරශ්‍ර ආදිය හඳුනාගත හැකිය. අඛණ්ඩ සැරසිලි අතර පලාපෙති, අරිම්බුව, දියරැළි රටා, ගල් බින්දුව, තනිපොට, දෙපොට ලනු රටා ආදිය දක්නට ලැබේ. නොකඩවා එක දිගටම පවතින රටාවන් අඛණ්ඩ රටා ලෙස හදුනාගත හැකි අතර මෙම සැරසිලි තුල ජ්‍යාමිතික ලක්ෂණ දක්නට ලැබෙන්නේ නැත. අනුරාධපුර යුගයේ පාදම්වල මෙම සැරසිලි දක්නට ලැබේ. 





බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...